නොදුටු ස්ථාන සොයා යමින් ඒවා පිළිබඳ තොරතුරු සොයා බැලීමේ පුරුද්ද මිනිසාට ඇති වූයේ අද ඊයේ නොවේ. එයට ඇත්තේ මිනිසාගේ සම්භවයට තරම් ඉපැරණි අතීතයකි. ගවේෂණය වූ කලී මිනිසාගේ ජානවල තැන්පත් වූවකි. එබැවින් මේ පුරුද්ද අද ද මිනිසා තුළ දක්නට ලැබෙන්නකි. වර්තමාන සමාජය තුළ බොහෝ දෙනෙකු සංචාරයෙහි නොයෙදෙන්නේ ඊට ඇති අකැමැත්ත නිසා නොව ආර්ථික ගැටළු නිසාය. දේශීය වශයෙන් සංචාරයෙහි යෙදෙන්නට ද සෑහෙන මුදලක් වෙන් කළ යුතුය. නමුත් පවතින ආර්ථික ගැටළු ඉදිරියේ මෙය බොහෝ විට කළ නොහැක්කක් සේ පෙනේ. එහෙත් නොගොසින් නොසිටිය හැකි තැන් අප රටේ බොහෝ වෙයි. මියෙන්නට පෙර වරක් හෝ මේවා දැකබලා ගතයුතුය. ඒකාකාරී ජීවිතයෙන් මිදී මානසික ආතතිය අවම කරගැනීමට ද සංචාරය කිරීම මහඟු අත්වැලක් සපයයි. එසේ හෙයින් අපහසුවෙන් හෝ මුදල් සොයා මේවා බලන්නට අවස්ථාව සළසා ගතයුතුය. එසේ දැකබලා ස්ථාන පිළිබඳ සෙස්සන් දැනුවත් කිරීම තුළින් ඔවුන් තුළ ද සංචාරය කිරීමේ පුරුද්ද වගා කළ හැකිය. මේ සරල බ්ලොග් අඩවිය නිර්මාණ කළේ ඒ අරමුණිනි. අපගේ සංචාරක කණ්ඩායම සිරිලක සැරූ විවිධ ස්ථාන පිළිබඳ හැකිතාක් ඡායාරූප සහිතව මෙහි පළකරන්නේ ඔබගේ ද සංචාරක පිපාසාව තරමකට හෝ සංසිඳවීමේ අපේක්ෂාවෙනි. මේ ව්‍යායාමය පිළිබඳ ඔබගේ නොමසුරු අදහස් ද ලැබෙන්නට සළස්වන්නේ නම් අය අපව තවත් ධෛර්යවත් කරන්නකි. ඔබට ද සිරිලක පමණක් නොව මේ නිම්වළල්ලෙන් ඔබ්බට ද සංචාරයේ කරන්නට හැකිවේවා යන්න අපගේ පැතුමයි.

Tuesday, December 25, 2012

තනිවැල්ලේ දේවාලය - Thaniwelle Dewalaya



ශ්‍රී ලංකාවේ රජකම් කළ ප‍්‍රාදේශීය රජවරුන් අතුරින්  උඩුගම්පොල සකල කලා වල්ලභ රජුට හිමිවන්නේ මුල් තැනකි. ක‍්‍රි.ව 1477-1496 අතර කෝට්ටේ රජකම් කළ අට වැනි වීර පරාක‍්‍රම රජු දෙවනුව සරණ පාවා ගත් අග බිසවගේ බාල සොයුරියගේ කුසින් මෙලොව එළිය දුටු කුමාරවරුන් දෙදෙනා ගෙන් පළමුවැන්නා මොහුය. දෙවැන්නා තනිය වල්ලභ කුමරුය. පිය රජුගේ ඇවෑමෙන්  අග බිසව ගේ පුතුන් සිව් දෙනා අතුරින් වැඩිමල් පුතු වන ධර්ම පරාක‍්‍රමබාහු  කුමරුට කෝට්ටේ සිහසුන භාර කළ සකල කලා වල්ලභ සහ තනිය වල්ලභ යන කුමරුවෝ උඩුගම්පොල සහ මාදම්පේ යන ප‍්‍රදේශවල උප රාජධානි පිහිටුවා ගත්හ.



සුවිශ්ට රණශූරත්වයකින් යුත් සකල කලා වල්ලභයන්ට එනම ලැබී ඇත්තේ ඔහු සටන් කලාවන් ඇතුළු සකල විධ කලාවන්හි කෙළ පැමිණි නිසා යැයි කියනු ලැබේ. එමෙන්ම මෙම රජු චක‍්‍රායුධ කුමරු නමින් ද හැඳින්වුණු බව  ඕලන්ද ජාතික පූජක තුමකු සහ ඉතිහාසඥයෙකු වන වැලන්ටයින් විසින් 1724 වසරේ දී එළි දැක්වූ ඉතිහාස ග‍්‍රන්ථයේ සඳහන්ය. ඒ අනුව එම කුමරු චක‍්‍රායුධය නම් අවිය හැසිරවීමේ සූරයකු නිසා එනම පට බැඳුණා ද විය හැක.


සකල කලා වල්ලභ, තනිය වල්ලභ රජවරුන් දෙදෙනා යුද ශිල්පයෙහි සේම කෘෂි කර්මාන්තයෙහි ද අති දක්ෂ වූහ. වත්මන්  පුත්තලම දිස්ත‍්‍රික්කයට අයත් අති විශාල භූමි ප‍්‍රදේශයක් අස්වද්දා රට සමෘද්ධිමත් කිරීමට මාදම්පේ රජකම් කළ තනියවල්ලභ කුමරු සමත්විය. මෙම යුගයේ හලාවත, පුත්තලම ආශ‍්‍රිත මුහුදු තීරයේ අක්කර දස දහස් ගණනක සරුසාර වී වගාවක් පැවැති බවට ඓතිහාසික සේම භූගෝලීය සාක්ෂිද ඇත. එහෙත්, ඉන් පසු ඇරඹි  ඕලන්ද යුගයේ සිදුවූ නොවිධිමත් ජල කළමනාකරණ ව්‍යාපෘතීන් නිසා එම කුඹුරුවලට කරදිය මුසු වීමෙන් අද වන විට ඒවා විල්ලූබවට පත්ව තිබේ. සුවිසල් වැව් පද්ධතියක් හා සම්බන්ධ ආනවිලූන්දාව තෙත් බිමද පසුව එසේ සම්පූර්ණයෙන් වැනසී  ගිය සශ‍්‍රික කූඹුරු යායකි. 



ක‍්‍රි.ව. 1513 වසරේ ධර්ම පරාක‍්‍රම රජු අභාවයට පත් අතර ඉන්පසු කෝට්ටේ කිරුළට ඇරැයුම් ලැබූ උඩුගම්පොල සකල කලා වල්ලභ රජතුමා කොට්ටේ රාජධානියට සපැමිණ තමනට හිමි කිරුළු ධර්මපරාක‍්‍රම රජුගේ එක් කුස උපන් බාල සොයුරු  වන විජයබා කුමරුට භාරදී යළි උඩුගම්පොලටම පැමිණ තිබේ. එය අටවැනි වීර පරාක‍්‍රම රජුගේ අගබිසව ගේ කුසින් උපන් ඒ කුමරු රාජ්‍යත්වයට වඩාත් සුදුසු බව තමන්ම තීරණය කිරීමෙනි. සකල කලා වල්ලභයන් ගේ යුක්ති ධර්මතාවය කොතෙක් දැයි මින් අපට පසක් වේ. එමෙන්ම සකල කලා වල්ලභයන්ගේ වීර ක‍්‍රියාවන් රැසක් රාජවලිය සහ අලකේශ්වර යුද්ධය යන ග‍්‍රන්ථවල මැනැවින් විස්තර කොට ඇත.




ඔහුගේ සොයුරු මාදම්පේ තනියවල්ලභ කුමරු මරණින් පසුව තනිවැල්ලේ දෙවියන් නමින් දේවත්වයට පත්විය. මාදම්පේ ප්‍රදේශයට යන විට සුදු අශ්වයෙක්ගේ රුවක් ඉදි කොට ඇත්තේ තිබෙන දේවාලයේය. කෝට්ටේ යුගයේ සිට පැවතියේ යැයි පැවසෙන තිබුණු මේ දේවාලයේ වර්තමානයේ දක්නට ලැබෙන ගොඩනැගිලි ගලින් ඉදි කරන්නේ 1894 දීය.

තනිය වල්ලභයන්ගේ මරණයට හේතුව සොයා බැලුවොත් එය සිදුවන්නේ ඔහුගේම මුණුබුරා අතිනි. තනිය වල්ලභයන්ට හිටියේ දියණියකි. ඇය විවාහ වූයේ සොළී කුමාරයෙක් සමඟිනි. ඔවුනගේ දරුවන් වූයේ වීදිය බණ්ඩාර සහ තම්මිට සූරිය බණ්ඩාර කියන කුමාරවරුන්ය. අවසානයේදී 1583 දී පමණ තනිය වල්ලභයන් මියයන්නේ තමාගේම මුණුබුරා වුණු වීදිය බණ්ඩාර අතිනි. තනිය වල්ලභයනුත් මරණයෙන් පසුවජනතාව "තනිවැල්ලේ දෙවියන්" නමින් ඔහුව වන්දනා කරන්න පටන් ගත්තා. සුදු අශ්වයෙක් පිට නැගී සුදු වස්ත්‍රාභරණයෙන් සැරසී තවමත් තනියවැල්ලේ දෙවියන් තමන්ගේ බල ප්‍රදේශයේ ගමන් තම වැසියන්ගේ ආරක්ෂාව සලසන බවයි ජනතාවගේ පිළිගැනීම.

අතිරේක කියැවීම්




No comments:

Post a Comment