නොදුටු ස්ථාන සොයා යමින් ඒවා පිළිබඳ තොරතුරු සොයා බැලීමේ පුරුද්ද මිනිසාට ඇති වූයේ අද ඊයේ නොවේ. එයට ඇත්තේ මිනිසාගේ සම්භවයට තරම් ඉපැරණි අතීතයකි. ගවේෂණය වූ කලී මිනිසාගේ ජානවල තැන්පත් වූවකි. එබැවින් මේ පුරුද්ද අද ද මිනිසා තුළ දක්නට ලැබෙන්නකි. වර්තමාන සමාජය තුළ බොහෝ දෙනෙකු සංචාරයෙහි නොයෙදෙන්නේ ඊට ඇති අකැමැත්ත නිසා නොව ආර්ථික ගැටළු නිසාය. දේශීය වශයෙන් සංචාරයෙහි යෙදෙන්නට ද සෑහෙන මුදලක් වෙන් කළ යුතුය. නමුත් පවතින ආර්ථික ගැටළු ඉදිරියේ මෙය බොහෝ විට කළ නොහැක්කක් සේ පෙනේ. එහෙත් නොගොසින් නොසිටිය හැකි තැන් අප රටේ බොහෝ වෙයි. මියෙන්නට පෙර වරක් හෝ මේවා දැකබලා ගතයුතුය. ඒකාකාරී ජීවිතයෙන් මිදී මානසික ආතතිය අවම කරගැනීමට ද සංචාරය කිරීම මහඟු අත්වැලක් සපයයි. එසේ හෙයින් අපහසුවෙන් හෝ මුදල් සොයා මේවා බලන්නට අවස්ථාව සළසා ගතයුතුය. එසේ දැකබලා ස්ථාන පිළිබඳ සෙස්සන් දැනුවත් කිරීම තුළින් ඔවුන් තුළ ද සංචාරය කිරීමේ පුරුද්ද වගා කළ හැකිය. මේ සරල බ්ලොග් අඩවිය නිර්මාණ කළේ ඒ අරමුණිනි. අපගේ සංචාරක කණ්ඩායම සිරිලක සැරූ විවිධ ස්ථාන පිළිබඳ හැකිතාක් ඡායාරූප සහිතව මෙහි පළකරන්නේ ඔබගේ ද සංචාරක පිපාසාව තරමකට හෝ සංසිඳවීමේ අපේක්ෂාවෙනි. මේ ව්‍යායාමය පිළිබඳ ඔබගේ නොමසුරු අදහස් ද ලැබෙන්නට සළස්වන්නේ නම් අය අපව තවත් ධෛර්යවත් කරන්නකි. ඔබට ද සිරිලක පමණක් නොව මේ නිම්වළල්ලෙන් ඔබ්බට ද සංචාරයේ කරන්නට හැකිවේවා යන්න අපගේ පැතුමයි.

Sunday, August 17, 2014

මිනිසා සහ අශ්ව හිස, අනුරාධපුරය - Man and the Horse Head at Isurumuniya


ඉසුරුමුණි විහාරයේ පර්වත මධ්‍යයෙහි පොකුණේ බිම සිට අඩි පහලොවක්‌ උසින් පර්වතයේම අර්ධ උන්නතව නෙළා ඇති අශ්ව ශීර්ෂයක්‌ සහ මනුෂ්‍ය රුවකි. මනුෂ්‍ය රුවේ ඉරියව් අනුව ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්‌ වියයුතුය. කඳ සෘජුව තබා ගනිමින් වම්පස පොළොව මත දිගා කොට, දකුණු පස ඔසවා, නවාගෙන හිඳගෙන සිටින ස්‌වරූපයෙන් නිරූපිත මනුෂ්‍ය කැටයමේ වමත භූමි ස්‌පර්ශ වෙද්දී දකුණත දකුණු පසේ දණහිස මත තබාගෙන සිටියි. පුද්ගලයාගේ දැස්‌ වම් පැත්තට යොමු වී ඇති අතර සෘජු බැල්මක්‌ ප්‍රකට කෙරෙයි. හිසට වැස්‌මක්‌ පළා ඇත. කුණ්‌ඩලාභරණ ද පළා ඇත. අත්වල සහ පාදවල ආභරණ පළඳා සිටින අතර, මහාරාජ ලීලාව මෙයින් ද ප්‍රකට කෙරෙයි. මනුෂ්‍ය රුවේ දකුණු උරහිස පැත්තට වන්නට අශ්ව හිසක්‌ ද වෙයි. සමස්‌ත නිර්මාණයේම උස අඩි දෙකක්‌ හා අඟල් අටක්‌ පමණය. මනුෂ්‍යයාගේ කෙස්‌ වැටිය උරහිස තෙක්‌ ම වැටී ඇත. උඩුකය නිරුවත් ය. නිර්මාණ ලක්‍ෂණ අනුව ක්‍රි.ව. 4 - 7 සියවස්‌වලට අයත් ය. සුරත මිට මොළවාගෙන සිටියි. පුෂ්ටිමත් ශරීරයක්‌ ඇති හෙතෙම කවරෙකු දැයි ස්‌ථිරවම නිගමනය කළ හැකි සාධක නැත.


මෙම නිර්මාණය පිළිබඳ පර්යේෂණයක්‌ කරන මහාචාර්ය පරණවිතානයන් "The structure of man and horse near Tisa Wewa" නමින් ශාස්‌ත්‍රීය ලේඛනයක්‌ ලියා ඇත. රන්මසු උයනේ ශිලා ලිපියක,


පොදනාවුළු පුලුඩාවෙන් කෙත්කම් සුලබ කොට.......


ලෙසින් සඳහන් පාඨය,


පාර්ජන්‍යයට හා අග්නිට පූජා කොට කෙත්වතු සුලබ කර...........


ලෙස අර්ථ ගන්වන මහාචාර්ය පරණවිතානයන් ඒ ඔස්‌සේ අශ්ව හිසෙන් අග්නි සහ මිනිස්‌ රුවෙන් පාර්ජන්‍යය නොහොත් ගින්න සහ වැස්‌ස සංකේතවත් කරන බව ප්‍රකාශ කරයි. කලා ලක්‍ෂණ අනුව පල්ලව නිර්මාණ සම්ප්‍රදායේ ලක්‍ෂණ ප්‍රකට කරන අතර, පරණවිතානයන් පවසන පරිදි මනුෂ්‍ය රූපයේ ඇස්‌ කෙළින්ම යොමුව තිබෙන්නේ විහාරයට පූර්ව දිශාවේ ඇති කෙත්වතු දෙසටය. පරණවිතාන මහතාට අනුව මනුෂ්‍ය රුවේ හිසේ ඇති ශීර්ෂාවරණය, ශීර්ෂාවරණයක්‌ නොව ජටාහර නමැති හිසකේ විලාසිතාවක්‌ වන බවය.


පාර්ජන්‍ය නොහොත් වර්ෂාව සහ අග්නි නොහොත් ගින්න සම්බන්ධ කරගනිමින් පරණවිතානයන් සිය අදහස ඉදිරිපත් කර තිබේ. මේ සම්බන්ධයෙන් මූලාශ්‍ර රැසක්‌ ම ඔහු දායක කරගෙන තිබෙන අතර, පාර්ජන්‍යය කැටයම් සඳහා මිනිස්‌ රුවක්‌ම උපයෝගී කර ගත්තේ මන්ද යන ගැටලුවත්, අග්නි සඳහා අශ්ව හිසක්‌ම උපයෝගී කර ගත්තේ මන්ද යන ගැටලුවත් ඉතිරිව පවතී. මීට අමතරව මධ්‍ය කාලීන සිංහල කලා කෘතියේ, ආනන්ද කුමාරස්‌වාමි විද්වතාණන් ප්‍රකාශ කර සිටින්නේ මෙමඟින් කපිල සෘෂිවරයා නිරූපණය වන බවය. ඔහුට අනුව සාගර නම් රජුගේ අශ්වමේධ නම් යාගයට කැප කළ අශ්වයා ඉන්ද්‍ර විසින් බේරා ගෙන ගොස්‌, කපිල සෘෂිවරයා පසුපස සඟවා තැබූ අයුරු මේ නිර්මාණයෙන් ප්‍රකට වන බවයි. නමුත් කපිල සෘෂිවරයාගේ රුවක්‌, ශ්‍රේෂ්ඨ බෞද්ධ පුදබිමකට වැද්දගත්තේ කුමන අභිලාෂයකින් ද? ලංකාවේ කිසිදු තැනක, විහාරයක කපිල සෘෂිවරයාගේ රුවක්‌ මෙතෙක්‌ සම්භ වී නැත.


ප්‍රවීණ මාධ්‍යවේදී එඩ්වින් ආරියදාස මහතාගේ විශ්වාසය අනුව, පණ්‌ඩුකාභය රජතුමා සහ එතුමාට මාමාවරු හා සටනට උපකාර කළ චේතියා නම් වෙළඹ මිනිසා සහ අශ්ව හිස කැටයම මගින් නිරූපණය කරයි. නමුත් පණ්‌ඩුකාභය රජු ඉසුරුමුණියේ නිරූපණය කොට දැක්‌වීමට තිබූ අවශ්‍යතාව කුමක්‌ දැයි ගැටලුවකි. එසේම මේ හා සම්බන්ධව තවත් මත ඉදිරිපත්ව තිබේ. ඉන් එක්‌ මතයකට අනුව කාවන්තිස්‌ස රජතුමාගේ දසමහා යෝධයන්ගෙන් එක්‌ අයෙකු වූ වේළුසුමන, විහාරමහා දේවියට උපන් දොළ සංසිඳුවීම පිණිස එළාර රජුගේ නායක යෝධයාගේ ශීර්ෂය සිඳගෙන ඒම පිණිස අනුරාධපුරයට ගොස්‌ උපායෙන් හිස සිඳ, අස්‌හලේ සවිමත්ම අසු පිට නැගී විත් ගිමන් සංසිඳවූ අවස්‌ථාවකැයි දක්‌වන්නෝ ද වෙති. මේ සම්බන්ධව ඉදිරිපත් කරන වෙනත් මත අතර මෙම නිර්මාණයෙන් අශ්වාරෝහකයෙක්‌ නිරූපණය වන බවට වන මතයක්‌ ද පවතියි. මෙසේ බලන විට පෙනී යන එක්‌ කරුණක්‌ ඇත. එනම් ලංකා ඉතිහාසයේ යම් ප්‍රධාන චරිතයකට අසෙකු සම්බන්ධ වී ද ඒ ඔස්‌සේ තර්ක කොට ඒ රුව නිර්වචනය කිරීමට උගතුන් තැත් කර ඇති බවය. නමුත් අප ඉදිරිපත් කරන සංකල්පය ප්‍රායෝගිකව විහාරයකට යෝග්‍ය සංකල්පයක්‌ බව සඳහන් කරනු වටී. කපිල සෘෂීන්, පණ්‌ඩුකාභයලා, වේළුසුමනලා මේ විහාරයට කොතෙක්‌ දුරට සම්බන්ධ වී දැයි ද, එම චරිත නිරූපණය කිරීමෙන් බලාපොරොත්තු වන අපේක්‍ෂණය කුමක්‌ දැයි ද විමසිය යුතුය.
 

මෙම නිර්මාණය හා සමාන නිර්මාණයක්‌ මහාබලිපුරම් හි පර්වතයේ ඇති අතර ඉන්දියාවේ මේ හා සමාන බොහෝ නිර්මාණ මගින් නේරංජනාව තරණය කරන සිද්ධාර්ථ කුමාරයා නිරූපණය කොට ඇත. නමුත් පරණවිතාන මහතා සිය ලිපියේදී එම අදහස සපුරාම බැහැර කරයි.


මේ නිර්මාණය සම්බන්ධයෙන් අපට එළැඹිය හැකි නිගමන දෙකකි. එකක්‌ නම් මෙමගින් නේරංජනා නදිය අසබඩ සිටින බෝධිසත්වයන් සහ කන්ථක අශ්වයා බව ය. දෙවැන්න දුටුගැමුණු රජතුමා සහ එතුමාගේ වෙළඹක වූ දීඝථුනී වෙළඹ බව ය. නමුත් අපගේ දර්ශනයට අනුව ඉසුරුමුණි නිර්මාණවලින් දුටුගැමුණු රජුගේ සම්බන්ධතාවක්‌ ප්‍රකට නොකරන නිසා, පිළිගත හැකි වන්නේ මිනිසා සහ අශ්ව හිස කැටයමෙන් ප්‍රකට වන්නේ අභිනිෂ්ක්‍රමණ අතරතුර නේරංජනා නදි තෙර හුන් බෝසතුන් වහන්සේ සහ කන්ථක අසු බව ය. නේරංජනා නදිය , ඉසුරුමුණි පොකුණ මගින් නිරූපණය කරයි. නිර්මාණයේ මනුෂ්‍ය පරිමාණයට සාපේක්‍ෂව අශ්ව හිසේ ප්‍රමාණය ද වැරදිය. අප කල්පනා කරන ආකාරයට මිනිස්‌ රුව නොහොත් සිද්ධාර්ථ කුමාරයා හුන් තැන ම කන්ථක අශ්වයා හිඳගෙන සිටියි. පුරුෂයාගේ දැසෙහි ඇති තිරසාර බැල්මෙන් ස්‌වකීය ඉදිරි මාවත පිළිබඳ වන අදිටන ප්‍රකට වෙයි. ආභරණ අවම වශයෙන් දක්‌වා තිබීම තුළින් ගිහිගෙය පිළිබඳව කලකිරී සිටි බව ගම්‍ය වෙයි. ඉසුරුමුණියේ සියලු කලාංගයන් සම්බන්ධව බෝධිසත්වයන් වහන්සේගේ ජීවිත කථාව ආශ්‍රිත මතවාද එළි දැක්‌වීම අනුව ඉසුරුමුණිය අවට ප්‍රදේශයේ සිදුහත් කුමරාගේ ජීවිතය හා බැඳි සුවිශේෂී සිද්ධීන් නිරූපණය කරන නිර්මාණ තිබුණු බවට විශ්වාස කළ හැකිය.

සම්බන්ධිත කියවීම්

දළදා වහන්සේ, දළදා පෙරහර සහ වර්ෂාව අතර සබැදියාවක් තිබේද?

No comments:

Post a Comment