නොදුටු ස්ථාන සොයා යමින් ඒවා පිළිබඳ තොරතුරු සොයා බැලීමේ පුරුද්ද මිනිසාට ඇති වූයේ අද ඊයේ නොවේ. එයට ඇත්තේ මිනිසාගේ සම්භවයට තරම් ඉපැරණි අතීතයකි. ගවේෂණය වූ කලී මිනිසාගේ ජානවල තැන්පත් වූවකි. එබැවින් මේ පුරුද්ද අද ද මිනිසා තුළ දක්නට ලැබෙන්නකි. වර්තමාන සමාජය තුළ බොහෝ දෙනෙකු සංචාරයෙහි නොයෙදෙන්නේ ඊට ඇති අකැමැත්ත නිසා නොව ආර්ථික ගැටළු නිසාය. දේශීය වශයෙන් සංචාරයෙහි යෙදෙන්නට ද සෑහෙන මුදලක් වෙන් කළ යුතුය. නමුත් පවතින ආර්ථික ගැටළු ඉදිරියේ මෙය බොහෝ විට කළ නොහැක්කක් සේ පෙනේ. එහෙත් නොගොසින් නොසිටිය හැකි තැන් අප රටේ බොහෝ වෙයි. මියෙන්නට පෙර වරක් හෝ මේවා දැකබලා ගතයුතුය. ඒකාකාරී ජීවිතයෙන් මිදී මානසික ආතතිය අවම කරගැනීමට ද සංචාරය කිරීම මහඟු අත්වැලක් සපයයි. එසේ හෙයින් අපහසුවෙන් හෝ මුදල් සොයා මේවා බලන්නට අවස්ථාව සළසා ගතයුතුය. එසේ දැකබලා ස්ථාන පිළිබඳ සෙස්සන් දැනුවත් කිරීම තුළින් ඔවුන් තුළ ද සංචාරය කිරීමේ පුරුද්ද වගා කළ හැකිය. මේ සරල බ්ලොග් අඩවිය නිර්මාණ කළේ ඒ අරමුණිනි. අපගේ සංචාරක කණ්ඩායම සිරිලක සැරූ විවිධ ස්ථාන පිළිබඳ හැකිතාක් ඡායාරූප සහිතව මෙහි පළකරන්නේ ඔබගේ ද සංචාරක පිපාසාව තරමකට හෝ සංසිඳවීමේ අපේක්ෂාවෙනි. මේ ව්‍යායාමය පිළිබඳ ඔබගේ නොමසුරු අදහස් ද ලැබෙන්නට සළස්වන්නේ නම් අය අපව තවත් ධෛර්යවත් කරන්නකි. ඔබට ද සිරිලක පමණක් නොව මේ නිම්වළල්ලෙන් ඔබ්බට ද සංචාරයේ කරන්නට හැකිවේවා යන්න අපගේ පැතුමයි.

Wednesday, December 19, 2012

කදුරුගොඩ විහාරය - Kadurugoda Viharaya

 යාපනයේ චුන්නාකම් හන්දියෙන් වමට හැරී කි.මී. දෙකක්‌ පමණ ගමන් කරන විට කන්දරෝඩෙයි විහාරය හෙවත් කදුරුගොඩ විහාරය නෙත ගැටෙයි. යාපන අර්ධ ද්වීපයේ දී කඩුල්ල දුටු බෞද්ධ අනන්‍යතාවය යම් තරමකින් සුරැකි ඇති ඓතිහාසික වටිනාකමින් යුත් ස්ථානය කන්තරොඩෙයි පුරාන විහාරයයි. මෙය කදුරුගොඩ පුරාන විහාරය ලෙසින් සිංහල සමාජය විසින් හදුන්වනු ලැබේ.




 “පුවන්කු දිවයින“ – පුංකුඩුතිව් හි වැඩ වාසය කරන ලද රහතුන් වහන්සේලා හැට නමක් අපවත්වු බවත් එම භෂ්මාවශේෂ නිදන් කොට දාගැබ් හැටක් ඉදි කර ඇති බව ප්‍රවාදයේ පවතින්නෙකි. 1917 කැණීම් සිදු කර මෙම පුරාවෘත්තය තහවුරු කර ඇත. දේවා නම් පියතිස්ස රජු විසින් දඹකොළ පටුනේ සිට අනුරාධපුර උතුරු දොරටුව දක්වා කරන ලද මාර්ගයේ කදුරු ගොඩ විහාරය පිහිටා තිබු බව සඳහන් වේ. මෙම ස්ථානයෙන් සොයා ගත් බුදු පිළිම සහ පුරා වස්තු යාපනය කෞතුකාගාරයේ මහජන ප්‍රදර්ශනය සදහා තබා ඇත.

බෞද්ධ සිද්ධස්ථානයක නටබුන් වන දාගැබ් වට දා ගෙයක නටබුන් ඇති මෙම ස්ථානයේ පුරා විද්‍යාත්මක වටිනාකම හදුනා ගත් 1917 දී යාපනය දිසා විනිසුරු ව සිටි පෝල් . ඊ . පීරිස් මහතා විසින් එවකට පැවති රජයට මේ බව දෑනුම් දීමෙන් පසුව 1917-1919 දක්වා කාලයේ කැණීම් සිදුකර ඇති බව සදහන් වේ. මෙම කැණිම් වලින් සොයා ගත් බුදු පිළිම ,වර්ණාලේපිත උළු කැබලි, හා කාසි අනුරාධපුර හා පොලොන්නරුව යන යුගවලට ත් 01 වන සියවසටත් අයත් වන අතර පලමුවෙනි පැරකුම්බා සහ මල්ල ,ලීලාවතී, බුවනෙකබාහු යන රජ වරුන්ගේ යුගවලට අයත් වු බව ප්‍රකාශිතය.

මෙම විහාර ස්ථානය මහනුවර යුගවල ලියවුන විහාර හා පූජා භූමි නාමාවලිය වන “ නම් පොත “ හෙවත් “විහාර අස්න“ හි “කදුරුගොඩ විහාරය “ලෙස හදුන්වා ඇත. මෙය පෘතුගීසි ලේඛනවල හදුන්වා ඇත්තේ “කන්දර්කුඩ්ඩෙයි“ යන නමිනි.

ක්‍රි ව නව වන සියවසේ හතර වන ක්‍යප රජු විසින් මෙම විහාරයට කරවන ලද ප්‍රධානයන් පිළිබදව මෙම ස්ථානය තුලින් සොයා ගනු ලැබු “ අත්තානේ ටැම් ලිපිය කරුණු හෙලි කර ඇත. මෙම ටැම් ලිපිය ක්‍රි.ව නව වන සියවසේද විහාරය පැවති බවට ප්‍රබල සාක‍්ෂියක් ලෙස සලකයි.
දහසයවන සියවසේ යාපනය පාලනය කල “ සංගිලි“ නම් ද්‍රවිඩ රජුගේ පාලන සමයේ කදුරුගොඩ විහාරය විනාශයට පත් කර ඇත.

 කි‍්‍ර.ව. දෙවන සියවසට අයත් යාපනයේ වල්ලිපුරම් රන්පත් ලිපියෙන් පැහැදිලි වන්නේ එකල යාපනය අර්ධද්වීපයම ‘නකදිව‘ (නාගදීපය) නමින් හැඳින් වූ බෞද්ධයන් සිටි ප‍්‍රදේශ බව ය... කි‍්‍ර.ව. 10වන සියවසට අයත් තුනුකායිටැම් ලිපියෙන් ද ඒ බව සනාථ වේ...

කදුරුගොඩ විහාරය ක්‍රිස්තු පූර්ව යුගයේ සිට පැවති සිද්ධස්ථානයක් බවට අනුමාන කළ හැකි ය...තල්ගස් වටකර ගත් කන්තරෝඩෙයි නටබුන් බිම නිසලත්වයක ගිලී ඇත... තහවුරු කළ සමහර දාගැබ්වල ඡාත‍්‍රාවලි යළිත් ගලවා බිම දමා තිබෙන බව පෙනේ... මේවා ඉදිකර ඇත්තේ හිරිගල් සහ හුණුගල් උපයෝගි කරගෙන ය... ගල්මල්, කොරල් ගල් ආදිය සමහර තැන්වල මතු වී පෙනේ...බොහෝ තැන්වල දක්නට ලැබෙන කණු පාදම් ගල්වලින් පෙනෙන්නේ දැවවලින් කළ ගොඩනැගිලි තිබුණු බවකි... මෙම භූමියෙන් දාගැබ් කොත්, ගල්කරඬු, වීදුරු දැගැබ් කොත්, වාමන රූප,ගල්කණු කැබැලි, සිරිපතුල්ගල 16000 කට නොඅඩු පබළු බුද්්ධ ප‍්‍රතිමා කොටස්, බෝධිසත්ව ප‍්‍රතිමා, පුරාණ දේශිය සහ දකුණු ඉන්දියානු කාසි ආදි නෂ්ටාවශේෂ රාශියක් ලැබී ඇත... මෙම පුරාණ කෞතුක වස්තු යාපනය කෞතුකාගාරයේ ප‍්‍රදර්ශනයට තැබූ බව වාර්තාවල සඳහන් ය...





No comments:

Post a Comment