නොදුටු ස්ථාන සොයා යමින් ඒවා පිළිබඳ තොරතුරු සොයා බැලීමේ පුරුද්ද මිනිසාට ඇති වූයේ අද ඊයේ නොවේ. එයට ඇත්තේ මිනිසාගේ සම්භවයට තරම් ඉපැරණි අතීතයකි. ගවේෂණය වූ කලී මිනිසාගේ ජානවල තැන්පත් වූවකි. එබැවින් මේ පුරුද්ද අද ද මිනිසා තුළ දක්නට ලැබෙන්නකි. වර්තමාන සමාජය තුළ බොහෝ දෙනෙකු සංචාරයෙහි නොයෙදෙන්නේ ඊට ඇති අකැමැත්ත නිසා නොව ආර්ථික ගැටළු නිසාය. දේශීය වශයෙන් සංචාරයෙහි යෙදෙන්නට ද සෑහෙන මුදලක් වෙන් කළ යුතුය. නමුත් පවතින ආර්ථික ගැටළු ඉදිරියේ මෙය බොහෝ විට කළ නොහැක්කක් සේ පෙනේ. එහෙත් නොගොසින් නොසිටිය හැකි තැන් අප රටේ බොහෝ වෙයි. මියෙන්නට පෙර වරක් හෝ මේවා දැකබලා ගතයුතුය. ඒකාකාරී ජීවිතයෙන් මිදී මානසික ආතතිය අවම කරගැනීමට ද සංචාරය කිරීම මහඟු අත්වැලක් සපයයි. එසේ හෙයින් අපහසුවෙන් හෝ මුදල් සොයා මේවා බලන්නට අවස්ථාව සළසා ගතයුතුය. එසේ දැකබලා ස්ථාන පිළිබඳ සෙස්සන් දැනුවත් කිරීම තුළින් ඔවුන් තුළ ද සංචාරය කිරීමේ පුරුද්ද වගා කළ හැකිය. මේ සරල බ්ලොග් අඩවිය නිර්මාණ කළේ ඒ අරමුණිනි. අපගේ සංචාරක කණ්ඩායම සිරිලක සැරූ විවිධ ස්ථාන පිළිබඳ හැකිතාක් ඡායාරූප සහිතව මෙහි පළකරන්නේ ඔබගේ ද සංචාරක පිපාසාව තරමකට හෝ සංසිඳවීමේ අපේක්ෂාවෙනි. මේ ව්‍යායාමය පිළිබඳ ඔබගේ නොමසුරු අදහස් ද ලැබෙන්නට සළස්වන්නේ නම් අය අපව තවත් ධෛර්යවත් කරන්නකි. ඔබට ද සිරිලක පමණක් නොව මේ නිම්වළල්ලෙන් ඔබ්බට ද සංචාරයේ කරන්නට හැකිවේවා යන්න අපගේ පැතුමයි.

Monday, December 17, 2012

දළදා මාළිගාවේ මගුල් මඩුව - Magul Maduwa


 
 උඩරට වාස්තු විද්‍යාවේ විචිත‍්‍ර නිර්මාණයක් ලෙස සැලකිය හැකි මගුල් මඩුව පිහිටා ඇත්තේ රාජ මාලිගා සංකීර්ණයේ ශී‍්‍ර දළදා මාලිගාව ආසන්නයේය. මහනඩුව යනු ද ඊටම නමකි. වර්තමානයේ දක්නට ලැබෙන දැවමය මගුල් මඩුව ක‍්‍රි. ව. 1783 දී රාජාධි රාජසිංහ (ක‍්‍රි. ව. 1781 - 1798) රජතුමා කරවූවක් බවත් ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ රජු (ක‍්‍රි. ව. 1798 - 1815) විසින් පිළිසකර කරනු ලැබූවක් බවත් පැවසේ. ඉංග‍්‍රීසි පාලකයන් විසින් මෙය පිළිසකර කරවා අලූතින් ද කොටසක් එක්කොට ඇත. මගුල් මඩු ඉදිකළේ රාජාධි රාජසිංහ රජු බව පවසතත් එතුමාට පෙර ද සෙංකඩගලපුර රජ මාලිගා සංකීර්ණයේ මගුල් මඩුවක් ඉදිවී තිබිණැයි සලකාගත හැකිය. මුල් මගුල් මඩුව විනාශ වූයෙන් රාජධි රාජසිංහ රජතුමා යළි ගොඩනැගුවා විය යුතුය. උඩරට වාස්තු විද්‍යාවේ එන විසිතුරු ලී කැටයම් කලාවට අනුව මෙම නිර්මාණය කරනු ලැබූයේ දේවේන්ද්‍ර මූලාචාර්ය විසිනි. පත්තිරිප්පුව නිර්මාණය කළේ ද ඔහුය.



 සිංහල රාජ්‍ය සමයේ රජතුමා හා ඉහළ නිලධාරින්ගෙන් සමන්විත ඉහළ අධිකරණය මහනඩුව වශයෙන් රැුස්වූයේ මෙහිදීය. පසුකාලයේද මෑත භාගය වනතුරු ඉහළ නඩු මෙහිදී විභාග විය. රාජ්‍ය සමයේ මෙන්ම ඉංග‍්‍රීසින්ගේ කාලයෙහි ද වර්තමානයෙහි ද මෙම මගුල් මඩුව තුළ වැදගත් නඩු තීන්දු කීපයක්ම ප‍්‍රකාශයට පත්විය.



 රජු විශේෂ අමුත්තන් නියෝජිතයන් හමුවූයේ ද මෙහිදීය. ඇසළ පෙරහර මංගල්ලය දිනපතා රාත‍්‍රියෙහි අවසන් වූ පසු සාර්ථකව පෙරහර අවසන් වූ බව දේවාල වල කපුවන් විසින් රජතුමාට සැලකර සිටියේ ද මගුල් මඩුවේදී බවට ජනප‍්‍රවාදයක් පවතී.




 ක‍්‍රි. ව. 1815 දී සිංහල ඉංග‍්‍රීසි උඩරට ගිවිසුම අත්සන් කරනු ලැබූයේ ද මෙම ඵෙතිහාසික ගොඩනැගිල්ලේදීය. ක‍්‍රි. ව. 1875 දී වේල්සයේ කුමරු මහනුවරට පැමිණි අවස්ථාවෙහි පිළිගැනීම් උත්සවය පැවැත්වූයේ ද මෙහිය. වර්තමානයේදී මල්වතු අස්ගිරි උභය මහාවිහාරයේ අතිගරු මහානායක පදවි හා අනුනායක පදවි පත්කිරීම් සන්නස් පත‍්‍රය රටේ ජනාධිපතිවරයා විසින් පිළිගන්වනුයේ ද මෙම මගුල් මඩුවේදීය.


No comments:

Post a Comment