නොදුටු ස්ථාන සොයා යමින් ඒවා පිළිබඳ තොරතුරු සොයා බැලීමේ පුරුද්ද මිනිසාට ඇති වූයේ අද ඊයේ නොවේ. එයට ඇත්තේ මිනිසාගේ සම්භවයට තරම් ඉපැරණි අතීතයකි. ගවේෂණය වූ කලී මිනිසාගේ ජානවල තැන්පත් වූවකි. එබැවින් මේ පුරුද්ද අද ද මිනිසා තුළ දක්නට ලැබෙන්නකි. වර්තමාන සමාජය තුළ බොහෝ දෙනෙකු සංචාරයෙහි නොයෙදෙන්නේ ඊට ඇති අකැමැත්ත නිසා නොව ආර්ථික ගැටළු නිසාය. දේශීය වශයෙන් සංචාරයෙහි යෙදෙන්නට ද සෑහෙන මුදලක් වෙන් කළ යුතුය. නමුත් පවතින ආර්ථික ගැටළු ඉදිරියේ මෙය බොහෝ විට කළ නොහැක්කක් සේ පෙනේ. එහෙත් නොගොසින් නොසිටිය හැකි තැන් අප රටේ බොහෝ වෙයි. මියෙන්නට පෙර වරක් හෝ මේවා දැකබලා ගතයුතුය. ඒකාකාරී ජීවිතයෙන් මිදී මානසික ආතතිය අවම කරගැනීමට ද සංචාරය කිරීම මහඟු අත්වැලක් සපයයි. එසේ හෙයින් අපහසුවෙන් හෝ මුදල් සොයා මේවා බලන්නට අවස්ථාව සළසා ගතයුතුය. එසේ දැකබලා ස්ථාන පිළිබඳ සෙස්සන් දැනුවත් කිරීම තුළින් ඔවුන් තුළ ද සංචාරය කිරීමේ පුරුද්ද වගා කළ හැකිය. මේ සරල බ්ලොග් අඩවිය නිර්මාණ කළේ ඒ අරමුණිනි. අපගේ සංචාරක කණ්ඩායම සිරිලක සැරූ විවිධ ස්ථාන පිළිබඳ හැකිතාක් ඡායාරූප සහිතව මෙහි පළකරන්නේ ඔබගේ ද සංචාරක පිපාසාව තරමකට හෝ සංසිඳවීමේ අපේක්ෂාවෙනි. මේ ව්‍යායාමය පිළිබඳ ඔබගේ නොමසුරු අදහස් ද ලැබෙන්නට සළස්වන්නේ නම් අය අපව තවත් ධෛර්යවත් කරන්නකි. ඔබට ද සිරිලක පමණක් නොව මේ නිම්වළල්ලෙන් ඔබ්බට ද සංචාරයේ කරන්නට හැකිවේවා යන්න අපගේ පැතුමයි.

Friday, June 6, 2014

සමාධි පිළිම වහන්සේගේ වියෝවෙන් අනාරක්ෂිත වූ තොළුවිල - Toluvila Buddha Statue, a masterpiece of the ancient Sri Lankan sculpting art

සමාධි පිළිම වහන්සේ තොළුවිල පුද්බිමේ පිහිටි සමයේ ගත් ඡායාරූපයක් 

අනුරාධපුර සමාධි බුද්ධ ප්‍රතිමාව පිළිබඳව රට පුරා පැතිර ගත් වැරදි මතයක් තිබේ. එනම්, එය අනුරාධපුර මහමෙවුනා උයනේ පිහිටා ඇති බවකි. එහෙත් සත්‍ය ලෙසම අනුරාධපුර සමාධි පිළිමය හා මහමෙවුනා උයන අතර කිසිම සම්බන්ධයක් නැත. එය සැබැවින්ම පිහිටා ඇත්තේ මහ මෙවුනාවට අයත් මහා විහාර සංකීර්ණයේ වත්නොවේ. ඉන් ඉඳුරාම බැහැර පිහිටි අභයගිරි ආරාම සංකීර්ණයට අයත් භූමි භාගයකය. එමෙන්ම අනුරාධපුර පූජා නගරය තුළ අද දක්නට ඇති සමාධි පිළිම වහන්සේට අමතරව නිර්මාණාත්මක ලක්ෂණ අතින් ඊට කෙසේවත් නොදෙවෙනි තවත් සමාධි පිළිම වහන්සේ නමක් විසිවන සියවසේ මුල් අර්ධය තෙක්ම අනුරාධපුරයේ වැඩ සිට ඇත. එහෙත් ඉන්පසු කුමක් හෝ හේතුවක් මත එම ප්‍රතිමා වහන්සේ එතැනින් ඉවත් කොට තිබේ. අද එම සමාධි ප්‍රතිමාව කොළඹ ජාතික කෞතුකාගාරයේ පිවිසුම් ද්වාරය අබියස තැන්පත් කොට ඇත. ඒ හුදෙක් කෞතුක වස්තුවක් ලෙසිනි. එසේ විතැන් කිරීමෙන් එම ප්‍රතිමාවහන්සේට සේම සියවස් ගණනාවක් තිස්සේ එය ස්ථාපිතව තිබූ තොළුවිල පුරාවිද්‍යා රක්ෂිතයටද සුවිසල් අගතියක් සිදු වී ඇත.  

ඇතැම් කලා විචාරකයන් පවසන අන්දමට මෙම සමාධි ප්‍රතිමාව අභයගිරි සමාධි ප්‍රතිමාවටත් වඩා අධ්‍යාත්මික ලක්ෂණවලින් පිරිපුන්ය. මෙම මතය දරන්නවුන් අතර හිටපු ජාතික කෞතුකාගාර අධ්‍යක්ෂ සහ කැලණිය විශ්වවිද්‍යාලීය පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ හිටපු අධ්‍යක්ෂ සිරිනිමල් ලක්දුසිංහයන් ඇතුළු තවත් විද්වත් පිරිසක්ද වෙති.

ජය ශ්‍රී මහා බෝධි වන්දනාවෙන් අනතුරුව මිහින්තලා පුදබිම වෙත යන ඔබට එම යන මාර්ගය අතරතුර ප්‍රධාන මාර්ගය ආසන්නයේම දකුණු දෙසින් අතීතයේ මෙම සමාධි ප්‍රතිමාව තිබූ තොළුවිල පුරාවිද්‍යා ස්ථානය දැක ගත හැක.

උතුරු මැද පළාතේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාසයේ, අනුරාධපුර ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ අනුරාධපුර නගරයේ සිට කි.මී. 1/4ක් පමණ ගමන් කළ පසු ප්‍රධාන මාර්ගයට දකුණු පසින් මෙම ස්ථානය පිහිටා ඇත. මෙම ස්ථානය රාම කැ‍ලේ මාලිගය නමින් ද හඳුන්වනු ලැබේ. එහෙත් මෙය ක්‍රිස්තු වර්ෂ 05 වන සියවසට පමණ අයත් බෞද්ධ විහාර සංකීර්ණයක් බව පුරාවිද්‍යාත්මකව හඳුනාගෙන ඇත.

මෙම භූමි ප්‍රදේශය “රාම කැ‍ලේ” යනුවෙන් හැඳින්වීමට අතීතයේ මෙහි රාම කුමරු සතු මාලිගාවක් පැවැති බවට පැතිර ඇති ජනප්‍රවාද හා සබැඳුණු පුරාවිද්‍යාත්මක සාක්ෂි කිසිත් නැත. එනිසා ඒ සම්බන්ධ සැඟවුණු යටගියාව විමසනු පිණිස එම ජනශ්‍රැති මුල් කොට වෙනම මානව විද්‍යාත්මක අධ්‍යයනයක් කළ යුතුය.

බැලු බැල්මට වර්තමානයේ හිස් බිම්කඩක් ලෙස දිස් වුවද අතීත ‍ප්‍රෞඪ උරුමය මොනවට කියාපාන මෙය මධ්‍ය අනුරාධපුර යුගයට අයත් දියුණු පබ්බත විහාර සංකීර්ණයකි. ඉතා වේගයෙන් දියුණු වන අනුරාධපුර නගරයේ මෙබඳු පුරාවිදු උරුමයන් හැකිලීමට ලක්ව තිබීම ජාතික ඛේදවාචකයකි. මේ වන විට මෙම රක්ෂිතය අක්කර 35කට පමණ සීමාවී ඇත. පූර්ණ වශයෙන් කැණීම් කටයුතු හෝ ගවේෂණ

කටයුතු සිදුකර නොමැති හෙයින් ස්ථානයේ පුරාවිද්‍යාත්මක තොරතුරු අනාවරණය වී ඇත්තේ සුළු වශයෙනි. ලිඛිත මූලාශ්‍රවලින් ද තොරතුරු සොයා ගැනීම අපහසු වී ඇත. මෙයට හේතුව මහාවංසය වැනි ග්‍රන්ථ ථෙරවාදී මහා විහාරික භික්ෂූන් අතින් රචනා වීමත් එම වාර්තා ප්‍රධාන විහාරස්ථාන වටා පමණක් නිර්මාණය වීමත් මෙම ස්ථාන ඇතුළුනුවරට පිටතින් හුදකලාව සංවර්ධනය වූ විහාරාරාම වීමත් විය හැක. මූලාශ්‍රගත තොරතුරු විරල වීමට තවත් හේතුවක් වශයෙන් විද්වතුන් දක්වා ඇත්තේ මෙම විහාර මහායානික විහාර නිසා මූලාශ්‍ර සම්පිණ්ඩණය හරි හැටි සිදුනොවීම විය හැක. කෙසේ වුවද මෙම ස්ථානය ගැන සාහිත්‍යමය මූලාශ්‍ර මගින් තොරතුරු සපයා ගැනීම උගහටය. නමුදු පුරාවිද්‍යාත්මක ගවේෂණ මගින් එම අඩුව මනාව සපුරා ගත හැක.

මෙම පබ්බත විහාර ආරම්භය හා විකාශය පිළිබඳ  යම් යම් තොරතුරු සාහිත්‍ය මූලාශ්‍රවලින් අධ්‍යයනය කළ හැකිය. බුද්ධ කාලයේ භික්ෂු සංස්ථාව ආරම්භ වූ අවදියේ භික්ෂූන් වහන්සේලාට ස්ථීර වාසස්ථාන තිබූ බවට සාධක නැත. චුල්ලවග්ගපාලියට අනුව උන්වහන්සේලා ගස් මුල්වල, පිදුරු ගොඩවල්වල, ගුහා, සොහොන් ආදියේ රාත්‍රිය ගත කොට ඒ හේතුවෙන් විවිධ දුෂ්කරතා රැසකට මුහුණ පා ඇත. ඉන්පසුව බුදුන්වහන්සේ විසින් භික්ෂූන් වහන්සේලාට ආකාර සතරක ආරාම සකසා ගැනීමට අනුදැන වදාළහ. ඒ කාමභෝගීත්වය පිටු දකින විරාගික පරිසරයන් තුළ සරල ලෙස නිමැවුණු ඒවා වශයෙනි.

ඒ අනුව භික්ෂූන් වහන්සේලාට පූජා කිරීම සඳහා එබඳු විවිධ  ආරාම ඉදිකිරීම ආරම්භ විය. මහින්දාගමනයෙන් අනතුරුව ලාංකීය බුදු සසුන ආරම්භ වීමත් සමගම ලංකාව තුළ ද විහාර කර්මාන්තය ආරම්භ වූයේ මහා විහාරය ඉදිකොට මිහිඳු හිමියන්ට පූජා කිරීමත් සමගමය. එසේ වුවද වැඩි වශයෙන් මෙම යුගයේ භික්ෂූන් වහන්සේලා කටාරම් කෙටූ ගල්ලෙන් ආශ්‍රිතව වැඩ සිටි බවට පුරාවිද්‍යා සාධක එමට ය. අනතුරුව භික්ෂූන් වහන්සේලාගේ ප්‍රමාණය ක්‍රමයෙන් වැඩිවත්ම අභයගිරිය, ජේතවනය වැනි විශාල විහාරාරාම නගරය තුළ පවා ඉදිවන්නට විය. මෙවැනි විශාල ආරාම ඇතුළු නුවර සංවර්ධනය වන විට වනවාසී ආරාම සංකීර්ණයන් නගරයෙන් පිටත සීමාව තුළ ක්‍රමයෙන් වර්ධනය වී ඇත. මෙම තොළුවිල බඳු පබ්බත විහාරවල වර්ධනය හා විකාශනය ද අපට මේ අවදියේදී සිදුවූ බව හඳුනාගත හැකි ය.

මේ කරුණු සියල්ල අනුව පබ්බත විහාරය යනු මධ්‍ය අනුරාධපුර අවදියේ ඇතුළු නුවරට පිටතින් හුදකලාව එහෙත් ඉතාමත් සැලසුම් සහගතව සංවර්ධනය වූ මහායානික ආරාම සංකීර්ණ බවට හඳුනා ගැනීම නිවැරදිය. මේවා එක හා සමාන අතිශය දියුණු වාස්තු විද්‍යාත්මක ලක්ෂණ සමුදායකින් යුතු බව මේ වන විට අනාවරණය වී තිබේ. එමෙන්ම මෙම ආරාම ‍පොළොන්නරු යුගය දක්වාම පවතින්නට ඇති බව විද්වතුන්ගේ මතයයි.

පබ්බත විහාරවල වාස්තු විද්‍යාත්මක ලක්ෂණ විමසීමේදී එහි ක්‍රමික විකාශනයක් දැක ගත හැකිය.

එහිදී මුල්කාලීන ලක්ෂණ පෙන්නුම් කරන පන්කුලිය වැනි ආරාම ද දියුණු ලක්ෂණ පෙන්නුම් කරන තොළුවිල වැනි ආරාම ද නිදසුන් වේ.

මෙම ලිපියෙන් පැවසෙන තොළුවිල ආරාම සංකීර්ණයට ද මෙම වාස්තු විද්‍යා ලක්ෂණ ‍පොදුය. නමුදු මෙම පබ්බත විහාරයටම ආවේණික වූ සුවිශේෂී ලක්ෂණ කිහිපයක් ද හඳුනා ගත හැකි වීම මෙම ස්ථානයේ පුරාවිද්‍යාත්මක සුවිශේෂත්වය විදහා පාන්නකි.

තොළුවිල සමාධි පිළිම වහන්සේ වත්මනෙහි තැන්පත්කොට ඇත්තේ කොළඹ කෞතුකාගාරයේය

තොළුවිල ආරාම සංකීර්ණයේ මාලක දෙකකින් යුක්ත විශාල ප්‍රතිමාඝරයක් දකුණු දිශානුගතව පිහිටා ඇත. කොළඹ ජාතික කෞතුකාගාරය ඉදිරිපස තැන්පත් කොට ඇති සුප්‍රකට තොළුවිල සමාධි පිළිමය තැන්පත් කොට තිබුණේ මෙම ප්‍රතිමා ගෘහයේය. යටත් විජිත පාලකයන්ගේ තීන්දු තීරණ හමුවේ මුල් පිහිටි ස්ථානය අහිමි වූ මෙම සමාධි පිළිමයට හිමි විය යුතු නිසි ගෞරවය අද වන විට අහිමි වී ඇතැයි සිතේ. අඩි 05 අඟල් 09ක් උස්වූ මෙම පිළිමයෙහි බාහු ශීර්ෂ අතර පරතරය අඩි 03 අඟල් 05කි. වීරාසන මුද්‍රාවෙන් යුතු ප්‍රතිමාවෙන් මූර්තිමත් වන ශාන්ත ස්වාභාවය හා මුහුණෙහි සහ අඟපසඟවල දක්නට ඇති සප්‍රාණික ස්වාභාවයද නිසා මෙම ප්‍රතිමාවේ ශ්‍රේෂ්ඨත්වය හා කලාත්මක වටිනාකම ඉතා ඉහළ මට්ටමක පවතින බව විද්වත් මතයයි. මෙම ප්‍රතිමාව සම්බන්ධයෙන් සුවිශේෂී අගැයුමක් කරන මේ රටේ පළමු පුරාවිද්‍යා කොමසාරිස් එච්.සී.පී.බෙල් සූරීන් පවසා ඇත්තේ අප රටින් ලැබුණු  අලාභහානි කිසිවක් සිදු නොවූ සමාධි පිළිමයද මෙයම බවය.

තොළුවිල පුරාවිද්‍යා රක්ෂිතයේ මෙම පිළිමය තිබූ පිළිමගේ හා මැද මළුව සම්බන්ධ වනුයේ සුවිශේෂී ලක්ෂණ සහිත දිගු පෙත් මගකිනි. මෙහි ද්වාර මණ්ඩප මෙන්ම චංකමණද දැකගත හැකිවේ. මැද මළුව තුළ පූජනීය ගොඩනැගිලි ඉදිකර ඇති අතර එම මළුවේ සතර දිශාවට ද්වාර මණ්ඩප ඉදිකර ඇත. ස්තූපය, බෝධිඝරය, පිළිමගෙය,  මැද මළුව තුළ සුවිශාල කුලුනු සහිත උ‍පෝසථාඝරය මහල් දෙකකින් යුක්ත ගොඩනැගිල්ලක් බවට හඳුනා ගත හැකිය. දැනට සංරක්ෂණය කර ඇති කුඩා ස්තූපය ගඩොල් වේදිකාවක් මත ඉදිකර ඇත. මෙම ප්‍රධාන ස්මාරකවලට අමතරව සෙසු ගොඩනැගිලි පනස්නවයක් පමණ මෙම තොළුවිල පුරාවිද්‍යා පරිශ්‍රය තුළ දැකගත හැකිය. පූර්ණ වශයෙන් කැණීමට ලක්නොවූ මෙම ගොඩනැගිලි අතර භික්ෂු කුටි වැඩි වශයෙන් තිබේ. සෙසු ගොඩනැගිලි ඉහත දැක්වූ විවිධාකාර ගොඩනැගිලිවලට යම් යම් ආකාරවලින් සම්බන්ධ වන ඒවා විය හැකිය. ප්‍රධාන දිය අගලට ජලය සපයා ගන්නට ඇත්තේ ආසන්නයේම පිහිටි නුවර වැවෙන් විය යුතුය. ආරාමයේ ජල අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ‍පොකුණු දෙකක් ඉදිකර ඇත. ගොඩනැගිලි අතර ගමන් කිරීම සඳහා සකස් කර ඇති පෙත්මං ආරාම සංකීර්ණයේ අලංකාරයට හේතු වී ඇත. ප්‍රධාන පිවිසුම් ද්වාරය උතුරු දිශානුගතව පිහිටා ඇත. මේ අනුව නූතනය වන විට බැලූ බැල්මට විශේෂ වැදගත්කමක්  නොපෙනෙන තොළුවිල පබ්බත විහාර සංකීර්ණය වාස්තු විද්‍යාත්මක සහ භූමි සැකසුම් ලක්ෂණ අතින් ඉතාමත් දියුණු මට්ටමක පැවැති බව නිසැකය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය මත මෙහි පිළිම ගෙය, කුඩා ස්තූපය සහ පෙත්මග සංරක්ෂණ කටයුතු මේ වන විට අවසන් කර ඇත. මෙම පබ්බත විහාරයේ තිබූ සමාධි ප්‍රතිමාව ඉවත් කිරීමෙන් පසුව පාළු හුදකලා ස්වරූපයක් ගත් මෙම මාහැඟි පුරාවිද්‍යා රක්ෂිතයට පසුගිය එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී සමයේ තවත් ඇබැද්දියකට මුහුණ දීමට සිදුවිය. එනම් අනුරාධපුර ත්‍රිකුණාමලය මාර්ගයේ මෙම පරිශ්‍රය සමීපයේම තිබූ එවකට ත්‍රස්තවාදීන්ගේ ප්‍රධාන ඉලක්කයක්ව පැවති ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන ගබඩා සංකීර්ණය රැකගැනීම සඳහා එම ප්‍රධාන මාර්ගය වෙනුවට මෙම පරිශ්‍රය හරහා විකල්ප මාර්ගයක් යෙදීමට රජයට සිදුවීමය. එහෙත් අද වන විට පැරණි මාර්ගය විවෘත කොට ඇතත් එමගින් භෞතික වශයෙන් මෙම පරිශ්‍රයට සිදුවූ හානිය සුළුපටු කොට තැකිය නොහැක.

එහෙත් වන්දනාවේ පැමිණෙන බැතිමතුන් හට නිරායාසයෙන්ම දැකගත හැකි මෙම වටිනා පුරාවිද්‍යා ස්ථානය මේ වන විට “පුරාවිද්‍යාත්මක පාරිසරික හරිත උද්‍යානයක්” වශයෙන් ස්ථාපිත කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කෙරෙමින් පවතී. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් 2014 වසර සඳහා වෙන්කර අවසන්ය. එයට සමගාමීව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ 94 වන සංවත්සරය නිමිත්තෙන් එහ සම්මේලනය මගින් අරඹන ලද පරිසර හිතකාමී ආරක්ෂක ආවරණද සහිත රුක් රෝපණ ව්‍යාපෘතියක් ද මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී. එය මෙම පුරාවිද්‍යා රක්ෂිතයේම මතු ආරක්ෂාවට සේම පාරිසරික යහපැවැත්මටද බෙහෙවින් ඉවහල් වනු ඇත.

වර්තමානය වන විට අනවසර මාර්ග භාවිත කිරීම්, අනවසරයෙන් රථවාහන ගාල් කිරීම ආදී විවිධ ගැටලුකාරී තත්ත්වයන්වලට ගොදුරුව ඇති මෙම පුරාවිදු භූමිය දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය නොමදව හිමි වන හා ප්‍රදේශයේ  ජෛවමය සහ පාරිසරික අගය වර්ධනය කෙරෙන ආකර්ෂණීය ස්ථානයක් බවට පත් කිරීම ඉතා වැදගත් මෙහෙවරකි. අද දින අභයගිරි සමාධි පිළිමය හේතුවෙන් එම ස්ථානයට යම් ශ්‍රේෂ්ඨත්වයක් යම් බුහුමනක් හිමිව තිබේද ඒ හා සමානවම ශ්‍රේෂ්ඨත්වයක් හා බුහුමනක් හිමිවිය යුතු වූ මෙම පුරාවිද්‍යා ස්ථානය අද බොහෝ දෙනෙකුගේ අවධානයෙන් බැහැරව තිබේ. ඒ අග්‍රගණ්‍ය සමාධි පිළිමය අස්ථානගත වීමත් සමගමය. අද දින ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශන පුරාවස්තුවක් පමණක් බවට පත්ව ඇති මෙම අග්‍රගණ්‍ය සමාධි පිළිම වහන්සේ මෙම පින්බිමෙහි වැඩ සිටියා නම් මෙයද අනුරාධපුරයේ ප්‍රධාන පූජනීය ස්ථානයක් වනු ඒකාන්තය. එසේ වූවානම් අද දින පදිකයාගේ සිට ආසන්න පදිංචිකරුවා දක්වා වූ සියලු පාර්ශ්වයන්ගෙන් මෙම වටිනා පුරාවිද්‍යා රක්ෂිතයට සිදුවන නොයෙකුත් අයහපත් බලපෑම් සිදු නොවීමට ද ඉඩ තිබුණි.

- සම්පත් දායකත්වය
තිලක් සේනාසිංහ

තොරතුරු සැපයීම - පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අනුරාධපුර කලාප අංක 04 භාර පුරා විද්‍යා නිලධාරිනී නිරූපා ප්‍රියදර්ශනී මහත්මිය

3 comments:

  1. මමත් තරම් දවසක් හිතාගෙන හිටියේ සමාධි පිළිමයකට තියෙන්නේ අනුරාධපුරේ අපි දකින එක විතරයි කියලා. ඇත්තටම මේ ලිපිය ඉතාමත් වටිනා එකක්.

    ReplyDelete
  2. නියම ලිපියක් ස්තුති ඔබට

    ReplyDelete
  3. One of the best articles with facts. Indeed, I too believe the Tholuvila Buddha statue is the best. Dislocation it from the original site has ruined the historical value.

    ReplyDelete