නොදුටු ස්ථාන සොයා යමින් ඒවා පිළිබඳ තොරතුරු සොයා බැලීමේ පුරුද්ද මිනිසාට ඇති වූයේ අද ඊයේ නොවේ. එයට ඇත්තේ මිනිසාගේ සම්භවයට තරම් ඉපැරණි අතීතයකි. ගවේෂණය වූ කලී මිනිසාගේ ජානවල තැන්පත් වූවකි. එබැවින් මේ පුරුද්ද අද ද මිනිසා තුළ දක්නට ලැබෙන්නකි. වර්තමාන සමාජය තුළ බොහෝ දෙනෙකු සංචාරයෙහි නොයෙදෙන්නේ ඊට ඇති අකැමැත්ත නිසා නොව ආර්ථික ගැටළු නිසාය. දේශීය වශයෙන් සංචාරයෙහි යෙදෙන්නට ද සෑහෙන මුදලක් වෙන් කළ යුතුය. නමුත් පවතින ආර්ථික ගැටළු ඉදිරියේ මෙය බොහෝ විට කළ නොහැක්කක් සේ පෙනේ. එහෙත් නොගොසින් නොසිටිය හැකි තැන් අප රටේ බොහෝ වෙයි. මියෙන්නට පෙර වරක් හෝ මේවා දැකබලා ගතයුතුය. ඒකාකාරී ජීවිතයෙන් මිදී මානසික ආතතිය අවම කරගැනීමට ද සංචාරය කිරීම මහඟු අත්වැලක් සපයයි. එසේ හෙයින් අපහසුවෙන් හෝ මුදල් සොයා මේවා බලන්නට අවස්ථාව සළසා ගතයුතුය. එසේ දැකබලා ස්ථාන පිළිබඳ සෙස්සන් දැනුවත් කිරීම තුළින් ඔවුන් තුළ ද සංචාරය කිරීමේ පුරුද්ද වගා කළ හැකිය. මේ සරල බ්ලොග් අඩවිය නිර්මාණ කළේ ඒ අරමුණිනි. අපගේ සංචාරක කණ්ඩායම සිරිලක සැරූ විවිධ ස්ථාන පිළිබඳ හැකිතාක් ඡායාරූප සහිතව මෙහි පළකරන්නේ ඔබගේ ද සංචාරක පිපාසාව තරමකට හෝ සංසිඳවීමේ අපේක්ෂාවෙනි. මේ ව්‍යායාමය පිළිබඳ ඔබගේ නොමසුරු අදහස් ද ලැබෙන්නට සළස්වන්නේ නම් අය අපව තවත් ධෛර්යවත් කරන්නකි. ඔබට ද සිරිලක පමණක් නොව මේ නිම්වළල්ලෙන් ඔබ්බට ද සංචාරයේ කරන්නට හැකිවේවා යන්න අපගේ පැතුමයි.

Sunday, September 28, 2014

දහවලටත් අද්භූත රූප මැවී පෙනෙන අනුරපුර ආරාමික වන පෙත - Anuradhapura Monastery Forest where the mysterical phenomenon happens


දිවා කාලයේ පවා විවිධ අද්භූත දර්ශන විද්‍යමාන වන බව පැවසෙන අනුරාධපුර පූජා නගරය ආසන්නයේම පිහිටි වන පෙතක් පිළිබඳව අපට අසන්නට ලැබුණේ ඉතා අහම්බෙනි. අනුරාධපුර සමාධි පිළිමයේ සිට ගල් පාලම පාර ඔස්සේ කිලෝ මීටර් දෙකක් පමණ දුරකින් පිහිටි මෙම විස්මිත වන පෙත පිළිබඳව අතීතයේ සිට ප්‍රදේශයේ ගැමියන් තුළ භීතියක් ඇති කළ බව ද අපට දැන ගත හැකි විය.


අතීතයේ නොයෙකුත් අද්භූත රූප දර්ශනය වූ මෙහි පසුගිය කාලයේ සිට දිවා කාලයේ දී පවා යෝගාවචර භික්‍ෂුන්වහන්සේගේ රූප අද්භූත ලෙසින් දර්ශනය වන බව ද අප ලත් තොරතුරින් පැවසිණි.


ඉතා කලාතුරකින් අසන්නට ලැබෙන පුවතක් වූ මෙහි සත්‍ය අසත්‍යතාව විමසීමේ වැදගත්කම වටහා ගත් අපි පසුගිය දිනෙක එම වන පෙත සොයා ගියෙමු. එය පිහිටියේ අනුරාධපුර වටවන්දනා පාරෙන් තරමක් ඔබ්බට වන්නටය. අනුරාධපුරයට පැමිණෙන වන්දනාකරුවන්ගෙන් ඉතා සුළු පිරිසක් පමණක් මෙම මාර්ගය ඔස්සේ ගමන් කරති. ඒ අනුරාධපුර ඓතිහාසික ගල් පාලම නරඹනු පිණිස ය. එනිසාම මෙම මාර්ගය ගල් පාලම පාරයනුවෙන් ප්‍රසිද්ධව පවතී.


අනුරාධපුර කුට්ටම්පොකුණ සහ සමාධි ප්‍රතිමාව අද්දරින් වැටී ඇති මෙම මාර්ගය ඔස්සේ කිලෝ මීටර් දෙකක් ඉදිරියට ගිය අපට සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් සවිකරවන ලද විජයාරාම ආරාමික නටබුන්යන නාම පුවරුවක් දැක ගත හැකි විය. ඒ ප්‍රධාන මාර්ගයෙන් වමට හැරෙන රණවිරු ඉන්දික අරුණමාර්ග පිවිසුමේය. එම මඟ ඔස්සේ තවත් මඳ දුරක් ගිය අපට ද්වීතීක වන ලැහැබ් සහිත පරිසරයකට පිවිසිය හැකි විය. එම මාර්ගයේ වම් පස බැකෝ යන්ත්‍ර මගින් අක්කර ගණනාවක පිහිටි පස ඉවත් කොට කොට ඇති බවක් ද අපට දැක ගත හැකි විණි. එය ක්‍රීඩා පිටියක් තැනීමේ මූලික පියවරකැයි ගම්මු කීහ.


අපේ ගමනාන්තය වූ මෙම අද්භූත වන පෙත පිහිටියේ ඉන් මඳක් ඔබ්බේය. මෙය පුරා විද්‍යා දෙපාර්තමේන්තුව සතු රක්‍ෂිතයකි. මෙය නම් කොට ඇත්තේ විජයාරාමයයනුවෙනි. එහෙත් විජයාරාමය යනු මෙහි පැරණි නම නොවේ. එය මෑතක දී පටබැඳුණු නමකි. එහෙත් මෙතෙක් නාමිකව හඳුනා නොගැනුණු ක්‍රී.ව. හත් වන හෝ අට වන සියවස්වලට අයත් පැරණි පබ්බත විහාරයක නටබුන් මෙම වන පෙත තුළ සැඟව ඇතැයි අපට දැන ගන්නට ලැබිණි.


මේ ඡායාරූපය 2014 සැප්තැම්බර් 27 වැනි දින රාත්‍රී 10.00 ට පමණ විජයාරාම පුරාවිද්‍යා පරිශ්‍රයට ගිය වෛද්‍ය සුගත් විජේවර්ධනයන් ගත් එකක්. මෙහි දැක්වෙන ආලෝකය කුමක් විය හැකිද?



පබ්බත විහාර යනු අනුරාධපුර යුගයේ ඇතුළු නුවර පිහිටි මහා විහාර වලට අමතරව යෝගාවචර භික්‍ෂුන්වහන්සේ වැඩ සිටි වන ගත ආරාම විශේෂයකි. ආරාමික ගෘහනිර්මාණ සැලසුම් වලට අනුව මේවා පංචාවාස යනුවෙන් පුරා විද්‍යාඥයන් වර්ග කොට ඇත. අනුරාධපුර ඇතුළුනුවරට පිටතින් පිහිටි වෙස්සගිරිය හෙවත් පැරණි ඉස්සරාරාමය, තොළුවිල, ප්‍රාචීනතිස්ස පබ්බත, පුලියන්කුලම සේම මීට නොදුරින් පිහිටි පන්කුලියේ අශෝකාරාමය ද මෙතෙක් හඳුනා ගැනුණු පංචාවාස අතරින් කිහිපයකි.


එහෙත්, ඉහත සඳහන් සෙසු පංචාවාස සමඟ සංසන්දනය කරන විට මෙම වන පෙත තුළ පිහිටි පංචාවාසය පුරා විද්‍යාත්මක වශයෙන් කිසිදු ගවේෂණයකට ලක් වී නැත. ශ්‍රී ලංකාවේ ප්‍රථම පුරා විද්‍යා කොමසාරිස් ධුරය හෙබවූ එච්.සී.පී. බෙල් සූරීන් දහනව වන සියවසේ අග භාගයේ තැබූ වාර්තා කිහිපයක මෙම වන වාසය පිළිබඳව සටහන් වී තිබේ. එහෙත් ලංකාවේ අසම සම පුරා විද්‍යාඥයා වශයෙන් සැලකෙන සෙනරත් පරණවිතානයන් ගේ අවධානය හෝ මෙම වනවාසය සහ ආරාමික සැලැස්ම කෙරෙහි පූර්ණ වශයෙන් යොමු නොවීම පුදුමයකි.


එහෙත් අක්කර විසිදෙකක භූමි ප්‍රමාණයකින් යුත් මෙම විජයාරාම පැරණි ආරාම සංකීර්ණය පුරා විද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායකයන්ගේ අධීක්‍ෂණය යටතේ මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් පුරා විද්‍යා ගවේෂණයන්ට ලක් කිරීමේ වැඩසටහනක් මේ වසරේ ජනවාරි දහවෙනි දින සිටඅරඹා ඇත. මෙම ගවේෂණ කටයුතු සඳහා නියාමකත්වය ලබා දෙනුයේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ ව්‍යාපෘති අධ්‍යක්‍ෂ මහාචාර්ය ටී.ජී. කුලතුංගයන් විසිනි.


මධ්‍යම සංස්කෘතික අරමුදලේ ගවේෂණ නිලධාරී රංජිත් ගොඩකුඹුර මහතා මෙම ගවේෂණ කණ්ඩායමේ ප්‍රධානත්වය හොබවයි. මෙම ගවේෂණය යටතේ මෙම වන ගැබ තුළ තිබූ පැරණි ආරාමික ස්ථාන හතළිස් තුනක් හඳුනාගෙන ඇත. මෙම ව්‍යාපෘතිය සඳහා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ද සුවිසල් දායකත්වයක් හිමිකර දී තිබේ.


‘‘මොකක්ද මේ කැලය ඇතුළේ අද්භූත දර්ශන පේනවය කියන කතාව ?’’


මෙම ආරාමික පරිශ්‍රය තුළදී අපට හමුවූ එහි සේවක මුතු බණ්ඩා දසනායක මහතාගෙන් අපි ඇසුවෙමු. රූස්ස ගසින් යුත් පිරිපුන් වනාන්තර ලක්‍ෂණ පළ කරන මෙම වන පියස තුළට හිරු එළිය පතිත වනුයේ ද ඉතා සීමිතවය. එනිසා මෙය නිරතුරු අඳුරු ස්වභාවයකින් යුක්ත වූවකි.




‘‘මේ කැලේ එක එක අද්භූත රූප දවල්ටත් පේනවය කියලා ගම්මුන් අතරේ ඉස්සර ඉඳලම කතා පැතිරිලා තියෙනවා. ඒ නිසා මේ අවට ගම්වල ගෑනු අය දරකෑල්ලක් කඩා ගන්නවත් මේ කැලෑවට ඇවිත් නැහැ. ඉස්සරම කතා පැතිරිලා තිබුණේ මේ කැලයේ වලිගයක් තියෙන ලොකු මිනිහෙක් ඉන්නවය කියලාලූ.


නමුත් මෑතක ඉඳලා තමයි ඔය යෝගාවචර හාමුදුරුවරුන්ගේ රූප දර්ශනය වෙනවාය කියන කතාව පැතිරිලා තියෙන්නේ. කොහොම වුණත් මේ හැම රූපයක්ම මේ නටබුන්වලට අරක් ගත්තු බහිරව දේවතාවුන් වහන්සේ පෙන්නුම් කරන දේවල් කියලා තමයි ගම්මුන් විස්වාස කරන්නේ. නමුත් මේ පරිශ්‍රයේ ගවේෂණ කටයුතු පටන් ගැනීමත් එක්ක අනුරාධපුරයට එන බොහොම දෙනෙක් මේ පුරාවිද්‍යා පරිශ්‍රය බලන්නත් එනවා.හෙතෙම කීය.


ඒ හාමුදුරුවරුන්ගේ රූප දැකපු කෙනෙක් අපිට මුණ ගස්සන්නට බැරිද ?

 අපි දසනායක මහතාගෙන් අසා සිටියෙමු.


"ඔය කතාව පළාත පුරාම පැතිරිලා තියෙන බවක් විතරයි මම දැන ගෙන හිටියේ. මේ සයිට් එකේ වැඩට ආපු නුවර පැත්තේ මිස් කෙනෙක් මීට සති දෙකකට විතර කලින් සිකුරාදාවක දවල් එකොලහට විතර බොරපාට දිග ලෝගුවක් වගේ ඇඳුමක් ඇඳගත්තු කවුරු හරි පේන්න ඉන්නවා ගස් අතරින් දැකලා තියෙනවා. ඊට පස්සේ ඒ මිස් එක පාරටම අහක බලන කොටම එතනත් ඒ රූපය ඒ විදිහටම පෙනිලා තියෙනවා. මේ විදිහට හතර සැරයක්ම ඒ මිස් රූපය දැකලා. ටික වෙලාවකින් එතැනට ආපු කනිටු සේවකයෙකුගෙන් අහල තියෙනවා, මෙතැන තේරුම් ගන්ඩ බැරි හරි අමුතු දෙයක් දැක්කා කියලා.


පුදුමෙ කියන්නේ ඒ මිස් මේ කැලේ ඔහොම දර්ශන තියෙනවා කියලා කලින් අහල තිබිලම නැහැ. එතකොට අර කනිටු සේවකයාත් මිස් බය වෙයි කියලා හිතාගෙන නෑ මිස් එහෙම මුකුත් මෙහෙ නෑ කියලා කියලා තියෙනවා.දසනායක මහතා කීය.


‘‘එහෙම අද්භූත දර්ශන පේනවා නම් මෙතැනට ජනතාව පැමිණීමේ අඩුවක් තියෙන්න ඕනේ නේද?’’ අපි ඇසීමු.


මම හිතන්නේ නෑ හැමෝටම එහෙම පෙනේවිය කියලා. ඒත් මෙතැනට එන හුඟදෙනෙක් කියන්නේ මෙතැනදී හිත සමාධිගත වෙනවා වගේ අමුතුම සුවයක් දැනෙනවා කියලයි. ඒ හැරුණම මේ වගේ දර්ශනවලින් කාගේවත් ලොම් ගහකටවත් නපුරක් වෙලා නැහැ.ඉතින් මොකටද මෙහේ එන්න බය වෙන්නේ.


දසනායක මහතාගේ ඒ කතාවට සවන් දුන් අපි ඉන්පසුව එම ආරාමික වන පෙත ආසන්නයේම පිහිටි නිවසට ගොස් එහි ගෘහමූලිකයා වන හේරත් මුදියන්සේලාගේ චන්ද්‍රරත්න මහතා හමු වීමු. එම පරිශ්‍රය තුළ අද්භූත රූප දර්ශනය වන පුවත තමන් ද විටින් විට අසා තිබුණත් එවැනි දර්ශනයක් කිසිදා දැක නැති බව හෙතෙම කීය.


ඒත් මහත්තයො මෙහෙම දෙයක් නම් සිද්ධ වුණා. මම පහුගිය කාලේ හරක් බඳින්න ඔය කැලේට ගියා. ඊට පස්සේ මට එකපාරටම හිතට අමුත්තක් තේරුණා. ඒ හින්දම මට පාර අමතක වුණා. අන්තිමේ මම මේ කැලෙන් එළියට ඇවිත් තියෙන්නේ කොලොන්ගස්වැව වැව පැත්තෙන්. ඔය කැලේ කිට්ටුවම ඉන්න මටත් එහෙම දෙයක් වුණේ කොහොමද කියල මටම හිතා ගන්න බැහැ.


සාමාන්‍යයෙන් මිනිස්සු හේන් කුඹුරුවලට අඩි පාරක් තනාගන්නේ ඒ ආසන්නම භූමි භාගය හරහායි. නමුත් ඔය කැලය හරහා අඩි පාරක්වත් වැටිලා නැහැ. ගම්මුන් අඩි පාර තනාගෙන තියෙන්නේ ඔය කැලේ මැදින් බිම්කඩ මඟහැරෙන විදියට. මේවා නිකම්ම සිද්ධ වුණු දේවල් වෙන්න බැහැ, මේවාට මොකක්හරි ප්‍රබලහේතු බලපාන්න ඇතිහෙතෙම කීය.


කෙසේ හෝ මෙම ආරාමික වන පියස තුළ ඇති ඇඳිරිය තුළ අපට නොවැටහෙන කිනම් හෝ ගුප්ත බලයක් පැතිර ඇතැයි සිතේ. මෙම බිම් කඩෙහි ඇති නටබුන් අතීතයේ මෙහි පැවැති ප්‍රෞඩ ශාසනික උරුමය කියා පාන ප්‍රබල ශාක්ෂි වැන්න. අතීතයේ මෙහි වැඩ වාසය කළ දස දහස් ගණන් භික්‍ෂුන් වහන්සේ අතරින් රහත් ඵලයට පත් නොවූ භික්‍ෂුන් කොතෙකුත් හිඳින්නට ඇත. සසරේ අපට නොපෙනෙන භවයන්හි සැරි සරන උන්වහන්සේ තම පැරණි සසර පුරුද්ද අනුව මෙම පින් බිමට වැඩමවා සිටිය නොහැකි ද යන සැකය අප තුළ ඇති විය. එහෙත් මෙහි කිසියම් මනෝ විද්‍යාත්මක පසුබිමක් තිබේ දැයි යන්න දැන ගැනීමට ද අපට අවශ්‍ය විණි. එබැවින් අපි ඒ සම්බන්ධයෙන් ගාල්ල කාරාපිටිය ශික්‍ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා ගෙන් විමසා සිටියෙමු.


ඉහත සඳහන් විස්තරයට අනුව ඔය තත්ත්වය මනෝ වෛද්‍ය විද්‍යාත්මකව හැඳින්විය හැක්කේ ව්‍යාජ භ්‍රාන්ති හැටියටයි. තමන්ගේ මනසින් ඇති කරගන්නා අරමුණු හා පරිකල්පනයන්ට අනුව මනැසේ මැවෙන ඇසට නොපෙනෙන රූප, කනට නොඇසෙන ශබ්ද නාසයට නොදැනෙන ආඝ්‍ර්‍රාණ ප්‍රකෘති නොවන ස්පර්ශ ආදිය මේ භ්‍රාන්ති විදිහට විස්තර කරන්නට පුළුවන්. නමුත් ඒ භ්‍රාන්තිමය අත්දැකීම්වලට මුහුණ දෙන අය සිතන්නේ ඒවා සැබැවින්ම තමන් ඇසින් දුටු කනින් ඇසූ නාසයෙන් ආඝ්‍රාණය කළ හෝ ස්පර්ශමය අත්දැකීම් ලැබූ සත්‍ය සිදුවීම් විදිහටයි වෛද්‍ය රූබන් කියයි.


‘‘නමුත් ඒ පරිශ්‍ර්‍රයේ භික්‍ෂු රූප දැකිය හැකි බව කලින් නොදැන සිටි පුරා විද්‍යාවට සම්බන්ධ නිලධාරිනියකුත් පසුගිය දිනයෙක එහි සැරිසරන භික්‍ෂු රූපයක් දැක තිබෙනවා. ඊට හේතුව කුමක්ද ? අපි වෛද්‍ය රූබන් ගෙන් ඇසුවෙමු.


ඇසට, කනට, නාසයට ශරීරයට විශේෂිත අරමුණු නොලැබෙන නිසල නිඟඬ පරිසරයක් තුළදී යටි සිතේ ක්‍රියාකාරීත්වය ඉස්මතු වීමෙන් යමෙකු තුළ ඉහත සඳහන් භ්‍රාන්තිමය තත්ත්වයක් ඇති විය හැකියි. නිසල වනපෙත් භාවනාවට සුදුසුයි කියන්නේ ඒ හින්දයි. භාවනාව කියන්නේ තමන් විසින් සිත තුළ ඇතිකර ගන්නා නිමිත්තක් මනැසින් වර්ධනය කර ගැනීමක්. එසේ අරමුණක්, නිමිත්තක් වර්ධනය කර නොගත්තත් යටි සිතෙන් ඉබේටම ඒ කාර්ය භාරය ඉටුවන්න පුළුවන්. ඒ අනුව එබඳු භික්‍ෂුන් වහන්සේ දර්ශනය වන බව කලින් නොදැන සිටියත් එය අතීතයේ භික්‍ෂුන්වහන්සේ වැඩසිටි ආරාමයක් බව පුරාවිද්‍යාවට සම්බන්ධ නිලධාරිනියක් වන ඇය දැන සිටින්නට ඇති. එනිසා තමයි ඇගේ යටි සිතෙන් පැන නැඟුණු භික්‍ෂු රූපයි දෘශ්‍ය භ්‍රාන්තියක් ලෙස ඇයට අත්දකින්නට හැකි වුණේ.


වෛද්‍ය රූබන්ගේ නිගමනය එය වුවද මෙවන් අධ්‍යාත්මික සංකල්ප සමග නවීන විද්‍යාත්මක මත කෙසේ ඈදිය යුතුද? කෙසේ ඈදිය හැකි ද? යන්න පිළිබඳ අවසන් නිගමනයකට එළඹීම ඔබ හට භාර කරමින් අපි නිහඬ වන්නෙමු.

මෙයට සම්බන්ධ ඊළග ලිපිය
“අනාගතයේ අනුරාධපුරය මුළු ලෝකයේම ආධ්‍යාත්මික කේන්ද්‍රස්ථානය වන්නත් පුලුවන්” 

5 comments:

  1. ඔබට චතුරාර්ය සත්‍ය අවබෝධවේගන එනවා වගේ හැඟිමක් එනවා, එකපාරම නිවන් යන්න හදිසි වෙන්න එපා, ඔය පල්ලෙහා title වලත් ටිකක් අත්දැකීම් ගන්න උත්සහ කරන්න. අර ෆොටෝ එකේ වගෙ අලෝක මගේ පරන ප්ලෑස් අවුල් කැමරවෙනුත් එනවනේ. අළුත් කැමරාවට ඔය වගේ විශේෂ ආලෝක ටිකක් කැමති නැත්ද කොහෙද. අර අපේ තවත් එක බුද්ධිමතෙක් කලා වැව උඩදී අහම්බෙන් දඬුමොණරය අහඅකරගෙන තිබුන එකේදී ඇති වුව විවාදෙදි චන්දුගුප්ත තේනුවර ඔය ගැන හොඳට පැහැදිලිකරත තිබුන.
    කට පාඩම් කරල වෛද්‍යවරු /බුද්ධිමත්තු බිහිවෙන රටක තව තව මොන මොන ආශ්චරිය පහල නොවේවිද?

    ReplyDelete
    Replies
    1. මේ ගැන සම්පාදනය කළ අනෙක් ලිපිය ඉක්මණින්ම බලාපොරොත්තුවන්න.

      Delete
  2. බ්ලොග් අවකාසෙටත් හොල්මන් ඇවිත්... ඔච්චරයි අඩු වෙලා තිබුනේ.. මීට පස්සේ බුද්ධාගම අදහන්න එපා..

    ReplyDelete
    Replies
    1. මේ ගැන සම්පාදනය කළ අනෙක් ලිපිය ඉක්මණින්ම බලාපොරොත්තුවන්න.

      Delete
  3. මේ ගැන සම්පාදනය කළ අනෙක් ලිපිය ඉක්මණින්ම බලාපොරොත්තුවන්න.

    ReplyDelete