නොදුටු ස්ථාන සොයා යමින් ඒවා පිළිබඳ තොරතුරු සොයා බැලීමේ පුරුද්ද මිනිසාට ඇති වූයේ අද ඊයේ නොවේ. එයට ඇත්තේ මිනිසාගේ සම්භවයට තරම් ඉපැරණි අතීතයකි. ගවේෂණය වූ කලී මිනිසාගේ ජානවල තැන්පත් වූවකි. එබැවින් මේ පුරුද්ද අද ද මිනිසා තුළ දක්නට ලැබෙන්නකි. වර්තමාන සමාජය තුළ බොහෝ දෙනෙකු සංචාරයෙහි නොයෙදෙන්නේ ඊට ඇති අකැමැත්ත නිසා නොව ආර්ථික ගැටළු නිසාය. දේශීය වශයෙන් සංචාරයෙහි යෙදෙන්නට ද සෑහෙන මුදලක් වෙන් කළ යුතුය. නමුත් පවතින ආර්ථික ගැටළු ඉදිරියේ මෙය බොහෝ විට කළ නොහැක්කක් සේ පෙනේ. එහෙත් නොගොසින් නොසිටිය හැකි තැන් අප රටේ බොහෝ වෙයි. මියෙන්නට පෙර වරක් හෝ මේවා දැකබලා ගතයුතුය. ඒකාකාරී ජීවිතයෙන් මිදී මානසික ආතතිය අවම කරගැනීමට ද සංචාරය කිරීම මහඟු අත්වැලක් සපයයි. එසේ හෙයින් අපහසුවෙන් හෝ මුදල් සොයා මේවා බලන්නට අවස්ථාව සළසා ගතයුතුය. එසේ දැකබලා ස්ථාන පිළිබඳ සෙස්සන් දැනුවත් කිරීම තුළින් ඔවුන් තුළ ද සංචාරය කිරීමේ පුරුද්ද වගා කළ හැකිය. මේ සරල බ්ලොග් අඩවිය නිර්මාණ කළේ ඒ අරමුණිනි. අපගේ සංචාරක කණ්ඩායම සිරිලක සැරූ විවිධ ස්ථාන පිළිබඳ හැකිතාක් ඡායාරූප සහිතව මෙහි පළකරන්නේ ඔබගේ ද සංචාරක පිපාසාව තරමකට හෝ සංසිඳවීමේ අපේක්ෂාවෙනි. මේ ව්‍යායාමය පිළිබඳ ඔබගේ නොමසුරු අදහස් ද ලැබෙන්නට සළස්වන්නේ නම් අය අපව තවත් ධෛර්යවත් කරන්නකි. ඔබට ද සිරිලක පමණක් නොව මේ නිම්වළල්ලෙන් ඔබ්බට ද සංචාරයේ කරන්නට හැකිවේවා යන්න අපගේ පැතුමයි.

Sunday, October 5, 2014

කුවේණිය දිවි නසාගත් යද්දෙස්සාගල - Yaddessagala where Kuweini Commited Suicide


යක්දෙස්සාගල යනු අප රටේ ඉතිහාසය සම්බන්ධයෙන් මෙන්ම භූවිෂමතා ලක්ෂණ අතින් ද ඉතා වැදගත් ස්ථානයක් ලෙස සඳහන් කළ හැකිය. මෙය පරිසර හිතකාමීන් සහ සොබා දහම විඳින්නන් අතර ඉතා ප්‍රකට ස්ථානයක් වුව ද සාමාන්‍ය ජනතාව මේ පිළිබදව කතා කරන්නට පටන් ගත්තේ පසුගිය දිනෙක දැරියක පැහැරගෙන නිධානයක් ගැනීම සඳහා බිලිදීමට ඇය යක්දෙස්සාගලට රැගෙන ගිය බවට පළ වූ පුවත් නිසාවෙනි. එම සිදුවීම කෙමෙන් යටපත් වී ගිය ද යක්දෙස්සාගල සමඟ බැඳුණු විවිධ ජනප්‍රවාද, පුරාවෘත්ත, පාරිසරික හා භූගෝලීය කරුණු බොහෝ පවතින බැවින් ඒ පිළිබඳම කතා කිරීම මැනැවැයි සිතිණි. 

අඩි 495ක් උන්නතාංශයකින් යුක්ත යක්දෙස්සාගල යනු වයඹ පළාතේ පිහිටි උසින් දෙවැනි තැන ගන්නා කඳු මුදුනයි. සංචාරකයන්ගේ සිත බැඳගත් ස්ථානයක් වුවද මෙය තරණය කිරීමට තරමක් අපහසුය. මෙහි ඉතිහාස ගත පුවත කුවේණිය හා බැඳුනකි. විජය රජු විසින් පළවා හරින ලද කුවේණිය  මෙම කඳු මදුනේ සිට ඔහුට ශාප කොට මෙයින් පැන දිවි නසාගත් බවට ජනප්‍රවාදයේ පැවසෙයි. යක්ෂ ගෝත්‍රයට අයත් කාන්තාවක්ශාප කළ ස්ථානය යන අරුතින් මෙයට යක්දෙස්සාගලයනුවෙන් නම් තැබී යැයි යැයි පැවසේ. විජය රජුගෙන් සිදුවූ අසාධාරණය නිසා කුවේණිය අඳෝනා තබා ඇත්තේ මෙතැන පමණක් නොවේ. පුත්තලම පාරේ ආණමඩුව පසු කළ විට තෝනිගලනමින් කන්දක් හමුවේ. කුවේණිය මෙහිදී ද ලතෝනි ලැබුවේ යැයි පැවසෙන අතර, එබැවින් එකල එය ලතෝනි ගලයනුවෙන් නම් තැබුණත්, පසුව ව්‍යවහාරයේ පහසුවට තෝනිගලනම් වූයේ යැයි පැවසේ. 

තවත් ජනප්‍රවාදයකින් පැවසනේනේ කුවේණියකගේ ඇස් මෙහි නිධන් කොට ඇතිබවය. එබැවින් අතීතයේ යක්ඇස්සාගලලෙස හඳුන්වනු ලැබූ මෙය පසුව යක්දෙස්සාගලවී යැයි පැවසේ. 

ඇතැම් ඉතිහාස කතා ප්‍රවෘත්තීන්වල සඳහන් වන අන්දමට යක්දෙස්සාගල දී කුවේණිය සිය දිවි නසාගෙන නැත. සිදුව ඇත්තේ ජාතිය පාවාදීමේ වරදට දඬුවමක් වශයෙන් යක්ෂ ගෝත්‍රික නායකයකු විසින් කුවේණියකගේ දිව කපා එක් අතුල් පහරකින් ඇය මරණයට පත්කොට යක්දෙස්සාගලින් පහළට දැමූ බවය. 

ශ්‍රී ලංකාවේ ඉපැරණි ග්‍රාම නාම සහිත් පොතක් වූ නම් පොතේ ද යක්දෙස්සාගල ස්ථාන නාමයක් ලෙස සඳහන්ව තිබේ. එමෙන්ම ශ්‍රී ලංකාව පිළිබඳ ලියැවුණු ඓතිහාසික වාර්තා අතර ද යක්දෙස්සාගල පිළිබඳව සඳහන්ව තිබේ. සුදන්තක බී විජේතුංග විසින් ගයිගර් දුටු ලංකාවනමින් පරිවර්තනය කරන ලද මහාචාර්ය විල්හෙල්ම් ගයිගර්ගේ Ceylon Tagebuchblatter and Reiseerinner Ungen කෘතියෙහි  කුරුණෑගල පිළිබඳ කරන විස්තරයෙහි ද යක්දෙස්සාගල පිළිබඳ සඳහන් වේ.

No comments:

Post a Comment